උදාවන අරුණෝදයෙන් බදුල්ල යලි පිබිදෙනු ඇත
වර්ෂ 1815 ට පෙර ස්වයංපෝෂිත වු බදුල්ල දිස්ත්‍රික්කය, යටත් විජිත පාලන කාලය තුල හා ඉන් පසුව වු කාල සීමාව තුල දී ඇතිවු යැපුම් මානසිකත්වය හේතුවෙන් ආර්ථික, සමාජීය, සංස්කෘතික හා අධ්‍යාපන යන අංශ ඔස්සේ සාර්ථකත්වය කරා ලඟාවීම යම්තාක් දුරට මන්දගාමි වි ඇත.
එමෙන්ම දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලබා දීම උදෙසා නිරන්තර දායකත්වය දක්වන්නා වු වතු ප්‍රජාව දෛනික වැටුප් මත ජීවත් වෙමින් ඒකාකාරි ජීවන රටාවක හා එකම ජීවන මට්ටමක දශක ගණනාවක් පුරාවට රැදෙමින් සමාජ ආර්ථික ගැටළු වලින් හෙම්බත් වී සිටි. ඔවුන් හට ආර්ථික,අධ්‍යාපනික හා සමාජීය බලමුළු ගැන්වීම නොමැති බැවින් වතුකරයෙන් බිහිවන්නා වු උගතුන් ප්‍රමාණය ද ඉතා අල්පය.
දිස්ත්‍රික්කයතුල පවතින්නා වු විවිධාකාරයේ ආර්ථික සාමාජීය අධ්‍යාපනික සංස්කෘතික සහ අනෙකුත් ආකාරයේ සංවර්ධන ගැටළු උදෙසා පිලියම් නිර්මාණය කරමින් සංවර්ධන අභිමතාර්ථයන් යථාර්ථයක් බවට පත්කර ගැනීමට මෙම වැඩසටහන තුලින් අවකාශ සැලසෙනු ඇත. නවීන තාක්ෂණය භාවිතයෙන් සිදු කිරීමට අපේක්ෂිත මෙම වැඩසටහන ප්‍රධානවම ප්‍රජාවගේ සහාගීත්වයෙන් හා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නා වු විශේෂඥයින්ගේ දැනුම භාවිතා කරමින් ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂිතය.
බදුල්ලේ ඉපදී බදුල්ලේ හැදී වැඩී බදුල්ලේ අධ්‍යාපනය ලද බොහෝ පිරිසක් බදුල්ල ප්‍රදේශයෙන් පිටත ලොවක් හඳුනන සහ රටක් හදන පුද්ගලයන් ලෙස රටට හා ලෝකයට සේවය සලසමින් ඇත. බදුල්ලෙන් බිහිවු උගතුන් ඒකරාශි කරගනිමින් ප්‍රජාවගේ ආකල්ප වර්ධනය කරවමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ ඉලක්කය මත මේ උදාවන අරුණෝදයෙන් බදුල්ල යලි පිබිදෙනු ඇති බව මාගේ විශ්වාසයයි.